බැදුම්කර හොරු අල්ලස්‌ කොමිසමටත් මාට්‌ටු – හැබැයි යට ගහලා

බැදුම්කර හොරු අල්ලස්‌ කොමිසමටත් මාට්‌ටු – හැබැයි යට ගහලා

SHARE

arjun mahendranමොනවද මේ බැඳුම්කර

රජය විසින් ණය ලබා ගැනීම සඳහා රාජ්‍ය ණය සුරැකුම්පත් නිකුත් කරන අතර රජය වෙනුවෙන් මේවා නිකුත් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවයි. මෙසේ මහ බැංකුව නිකුත් කරන ප්‍රධාන රාජ්‍ය ණය සුරැකුම්පත් වර්ග දෙකකි. ඒවා නම් භාණ්‌ඩාගාර බැඳුම්කර සහ භාණ්‌ඩාගාර බිල්පත් ය. මින් භාණ්‌ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ කෙටි කාලීනව එනම් සාමාන්‍යයෙන් වර්ෂයක්‌ හෝ ඊට වඩා අඩු කාලයක්‌ සඳහා වෙළෙඳපොළෙන් ණය ලබා ගැනීමටය. එහෙත් භාණ්‌ඩාගාර බැඳුම්කර යනු රාජ්‍ය ණය ලබා ගැනීම සඳහා වර්ෂ දෙකක්‌ හෝ ඊට වැඩි කාලයක්‌ සඳහා නිකුත් කරන රාජ්‍ය ණය සුරැකුම්පත් ය. මේ වන විට වර්ෂ දෙකේ සිට වර්ෂ 30 දක්‌වා වූ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කර තිබේ. මේවායේ පොලී අනුපාතයක්‌ (කූපන් අනුපාතයක්‌) තිබේ. මෙම භාණ්‌ඩාගාර බැඳුම්කරවල මුදල් ආයෝජනය කළ හැක්‌කේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ප්‍රාථමික වෙළෙඳුන්ට පමණි.

මහා භාණ්‌ඩාගාරයේ ණය අවශ්‍යතා අනුව දේශීය මූල්‍ය වෙළෙඳපොළ තත්ත්වයන් සහ පවතින පොලී අනුපාත යනාදිය ගැන සලකා බලා වෙළෙඳපොළට වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන භාණ්‌ඩාගාර බිල්පත් සහ බැඳුම්කර ප්‍රමාණයන් පුවත්පත් දැන්වීමක්‌ මගින් මහජනතාව සහ ප්‍රාථමික වෙළෙඳුන් දැනුවත් කිරීම මහ බැංකුවේ රාජ්‍ය ණය සඳහා දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධ කරනු ලබයි. එම පුවත්පත් දැන්වීමට අනුව ඉහතින් සඳහන් කළ මහ බැංකුවේ ලියාපදිංචි ප්‍රාථමික වෙළෙඳුන් විසින් තම තමන්ගේ ලංසු අදාළ වෙන්දේසි දිනයේදී නියමිත වේලාව තුළ විද්යුත් පරිගණක මාධ්‍යයෙන් මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබයි. මෙකී ඉදිරිපත් වූ ලංසු පිළිබඳව ඉතා ඉහළින් ම රහස්‍යභාවය සුරැකිය යුතුය.

———————————————————

‘බැඳුම්කර මගඩිය’ ගැන කතා කරන විට ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප ඇමැතිවරු මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු ද නිතරම කියන කතාවක්‌ වන්නේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක්‌ කළ බවයි. ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප ඇමැතිවරු, මේ ගැන මුලින්ම පැමිණිල්ලක්‌ කළේ මහින්ද අමරවීර මහතා බව මහ ඉහළින් කියා සිටියත්, ඒ පැමිණිල්ලට සිදු වූයේ කුමක්‌ද? ඒ පිළිබඳ අල්ලස්‌ කොමිසම විධිමත් පරීක්‍ෂණයක්‌ කළාද? අල්ලස්‌ කොමිසමෙන් යම් පරීක්‍ෂණයක්‌ කළා නම් එහි ප්‍රතිඵල මොනවාද? දැන් ඒ පරීක්‍ෂණය පවතින්නේ කවර මට්‌ටමකද? එම පරීක්‍ෂණය ප්‍රකාරව ගත් නීතිමය පියවර මොනවාද? යනාදී කරුණු ගැන කිසිවක්‌ නොකියයි. අඩු තරමේ මේ පැමිණිල්ල ඉදිරිපත් කළ මහින්ද අමරවීර මහතාවත් මේ ගැන කිසිවක්‌ කියනු දැන් අපට අසන්නට නොලැබෙයි. මුලින් ඉතා උනන්දුවෙන් පැමිණිල්ලක්‌ කළත්, ඔහුත් පසුව නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කළේ ඇයි? “මම පැමිණිල්ලක්‌ කළා. ඒ ගැන පරීක්‍ෂණ කොට නීතිමය පියවර ගැනීම අල්ලස්‌ කොමිසමේ වැඩක්‌” යෑයි අවශ්‍ය නම් මහින්ද අමරවීර මහතාට කියා සිටින්නට පුළුවන. එහෙත් එසේ කියා පහසුවෙන් ලිස්‌සා යැම සුදුසු පිළිවෙතක්‌ නොවන බව අපි මහින්ද අමරවීර මහතාට කියා සිටිමු. මහින්ද අමරවීර මහතා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම්වරයා මෙන්ම වත්මන් ආණ්‌ඩුවේ ද ප්‍රබලයෙකි. ඒ නිසා තමන් එම පැමිණිල්ල කළේ අවංකවම නම්, එසේම මේ ‘බැඳුම්කර මගඩිය’ යට ගැසීමේ උත්සාහයට දැන් මහින්ද අමරවීර මහතා සහාය නොදෙන්නේ නම් මේ ගැන තමා කළ පැමිණිල්ලට සිදුවූයේ කුමක්‌ද යන්න ඔහු අල්ලස්‌ කොමිසමෙන් විමසා රටට හෙළි කරන ලෙස අපි ඔහුගෙන් ඉල්ලා සිටිමු. මෙම මගඩියට වගකිවයුත්තන්ට එරෙහිව ජනාධිපතිවරයා අනිවාර්යයෙන් ම නීතිමය පියවර ගන්නවා යෑයි මුqදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියන නිසා බැඳුම්කර මගඩියේ අල්ලස්‌ කොමිසමේ පරීක්‍ෂණයට සිදු වූයේ කුමක්‌ ද යන්න ගැන ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල කළ මහින්ද අමරවීර මහතා අල්ලස්‌ කොමිසමෙන් විමසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව ද දැනුවත් කළ යුතුව තිබේ. එහෙත් මේ සම්බන්ධයෙන් පැමිණිලිකාර මහින්ද අමරවීර මහතාටවත් පසුව එතරම් උනන්දුවක්‌ තිබූ බවක්‌ අපට පෙනෙන්නට නොතිබිණි. ඒ ඇයි?

මේ බැඳුම්කර මගඩිය ලංකා ඉතිහාසයේ සිදු වූ විශාලතම මූල්‍ය වංචාව බවට චෝදනාවක්‌ එල්ල වී තිබේ. එසේ නම් කෝප් පරීක්‍ෂණයටත් පෙර ආරම්භ වී සිදු වූ දෙයක්‌ ගැන කිසිම ආරංචියක්‌ පසුව දැන ගන්නට නොලැබුණු අල්ලස්‌ කොමිසමේ බැඳුම්කර වංචාව පිළිබඳ පරීක්‍ෂණයට සිදු වූ දෙය ගැන ජනාධිපතිවරයා වහාම සොයා බැලිය යුතුය. මේ වංචාව යට ගැසීම සඳහා ඉතා ඉහළම මට්‌ටමින් දේශපාලන මෙහෙයුමක්‌ ආරම්භයේ සිටම ක්‍රියාත්මක වූ බව අප දන්නා කරුණකි. මුලින්ම නීතිඥ කමිටුවක්‌ පත් කර වාර්තාවක්‌ ලබාගෙන එය යට ගසන්නට විශේෂයෙන් ම හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ සෘජු සම්බන්ධයක්‌ ඒ සඳහා නොමැති බව කියා රටට පෙන්වන්නට උත්සාහ කළ බව අපට මතකය. එය හොරාගෙ අම්මාගෙන් පේන අහන කිසිදු විශ්වාසයක්‌ නොමැති කමිටුවක්‌ බවට චෝදනා එල්ල විය. මේ වාර්තාව ලබා දී ටික කලකින් මේ කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණී පිටිපනට ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සමාගම් ලේකම්වරයා ලෙස ඉතා ඉහළ පඩියකට
රැකියාවක්‌ ලබා දී ඇති බව ද දැන් හෙළිදරව් වී අවසන් ය. මෙවැනි ආකාරයේ කමිටුවකට මහ බැංකුවේ හිටපුq නියෝජ්‍ය අධිපති අපි ඉතා ගෞරවයෙන් සලකන ඩබ්ලිව්. ඒ. විඡේවර්ධන මහතා සහාය දීමත් කනගාටුවකි. පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව, අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සහ රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන මගින් පවත්වන ස්‌වාධීන පරීක්‍ෂණයකට සහාය දීම නම් අපට සිතාගත හැකිය.

මේ මගඩියේ ප්‍රධාන චූදිතයකු වන අර්ජුන මහේන්ද්‍රන් මහතා ආරක්‍ෂා කරන බවට අගමැතිවරයාට මුල සිටම විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වූ බව රටම දනී. එවැනි තත්ත්වයකදී මේ ගැන පරීක්‍ෂා කිරීමට අගමැතිවරයා විසින් ඔවුනට හිතවත් නීතිඥවරුන් තිදෙනෙකු පත් කිරීම ගැන විශ්වාසයක්‌ තැබීමට පුළුවන්කමක්‌ නැත. එම පසුබිම රටම දන්නා පසුබිමක ඩබ්ලිව්. ඒ. විඡේවර්ධන වැනි අයකු (අවංක ෙච්තනාවෙන් විය හැකි වුවත්) එවැනි කමිටුවකට සහාය දීමෙන් වැළකී සිටියා නම් වඩාත් හොඳ බව අපගේ හැඟීම බව ඔහුට පූර්ණ ගෞරවය සහිතව සඳහන් කළ යුතුය.

අප මේ කරුණු ගැන සඳහන් කළේ කෝප් පරීක්‍ෂණයේදී පමණක්‌ නොව අල්ලස්‌ කොමිසමේ පරීක්‍ෂණයේදී පවා එය යට ගැසීමට නොයෙකුත් බලපෑම් සිදුව ඇති බවට එම කොමිසමෙන් සහ මහ බැංකුවෙන් අපට ලැබෙන ආරංචි නිසා ය. අද රටම නොදන්නා නමුත් මේ අල්ලස්‌ කොමිසමේ පරීක්‍ෂණය ද නොයෙකුත් දේශපාලන බලපෑම් හේතුවෙන් අවසන් නොකර යට ගසා ඇති බවට ආරංචි තිබේ. ඒවා ඇත්තද නැද්ද යන්න අල්ලස්‌ කොමිසමට පැහැදිලි කළ හැකිය. එසේම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ද අල්ලස්‌ කොමිසමේ පරීක්‍ෂණයට සිදුවූයේ කුමක්‌ද, එය යටගසා තිබේද යන්න සොයා බැලිය හැකිය. අපට ලැබුණු ආරංචි අනුව මහින්ද අමරවීර මන්ත්‍රීවරයාගේ පැමිණිල්ලට අනුව මුලදී අල්ලස්‌ කොමිසම ඉතා ස්‌වාධීන විධිමත් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබේ. එයට මහ බැංකුවේ නිලධාරීන්ගෙන් ද සාක්‌කි විමසා තිබේ. මේ සාක්‌කි අනුව ද චෝදනා එල්ල වූ බැඳුම්කර නිකුතුවේදී රජයට පාඩවුක්‌ සිදු වූ බවත්, ඒ සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ සම්බන්ධයක්‌ ඇති බවටත් වන සාක්‌කි අල්ලස්‌ කොමිසමට ලැබී ඇති බවට අල්ලස්‌ කොමිසමේ සහ මහ බැංකුවේ ආරංචි මාර්ගවලින් පැවසෙයි. මේ ආරංචි මාර්ග සත්‍ය නම් මේ බැඳුම්කර මගඩියට වගකිව යුත්තන්ට එරෙහිව නඩු පැවරීමට හැකියාව ලැබීමට තිබුණේ මීට බොහෝ කලකට පෙරය. එහෙත් එම පරීක්‍ෂණය මුලින් ඉතාම හොඳට කෙරී පසුව එයට සිදු වූයේ කුමක්‌ද යන්න ගැන විශාල සැකයක්‌ ජනතාවට තිබේ. සුqනිල් හඳුන්නෙත්ති කෝප් සභාපතිවරයා පෙරේදා (28 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් වාර්තාවෙන් ද අර්ජුන මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිවරයා අදාළ චෝදනා එල්ල වී ඇති බැඳුම්කර නිකුතුවට සම්බන්ධ බවටත් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසටත් නිර්දේශ කර තිබේ. එසේම එම පාඩුව ඊට සම්බන්ධ අයගෙන් අයකර ගත යුතු බවට ද නිර්දේශ කර තිබේ. ඒ නිසා මෙය බැඳුම්කර මගඩියට එරෙහි සටනේ සුවිසල් ජයග්‍රහණයකි. එහෙත් මේ ජයග්‍රහණය යථාර්ථයක්‌ වනු ඇත්තේ මේ කෝප් නිර්දේශ ප්‍රකාරව ජනාධිපතිවරයා නීතිමය පියවර, අධිකරණ ක්‍රියාමාර්ග ගතහොත් පමණක්‌ බව අපි කියා සිටිමු. කෝප් එකට කළ හැකි දේ විශාල අභියෝග මධ්‍යයේ එය කර තිබේ. එයට විශාල දායකත්වයක්‌ ලබා දුන් රජයේ විගණකාධිපතිවරයාටත් අපගේ ස්‌තුතිය පළ කළ යුතුය.

දැන් මීට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන මුළුÊමහන් ජන සමාජයම රජයට බල කළ යුතු වේ. රජය යෑයි කිව්වත් මෙහිදී පියවර ගනු ඇතැයි අපට විශ්වාසය තැබිය හැකි එකම පුද්ගලයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වන බැවින් තමන්ට ලැබුණු යහපාලන ජන වරමට ද අනුව මේ නීතිමය පියවර වහාම ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස අපි ජනාධිපතිවරයාට කියා සිටිමු. කවරක්‌ නමුත් කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පැය කිහිපයකට පෙර සිංගප්පූරු පුරවැසි අර්ජුන මහේන්ද්‍රන් කටුනායක ගුවන් තොටුපළෙන් එමිරේට්‌ස්‌ ගුවන් යානයකින් රටින් පිට වී තිබේ. ඒ මංගල උත්සවයකට සහභාගි වීමට බවත් ලබන සතියේ නැවත එන බවටත් ඔහු තම සමීපතමයන්ට පවසා ඇති බව ද දැන ගන්නට ඇත. ඔහු පිටව ගියත් ඔහුව ආරක්‍ෂා කළ ඔහුගේ දේශපාලන ගජමිතුරන් තවමත් මේ රටේ සිටී.