වසර 51 ට පෙර දඹරාවේ සාමණේර හිමිනමක් ඝාතනය කල ආකාරය

වසර 51 ට පෙර දඹරාවේ සාමණේර හිමිනමක් ඝාතනය කල ආකාරය

SHARE

පෙළපාලියේ ගියේ ඩඩ්ලි – චෙල්වනායගම් ගිවිසුමට එරෙහිවයි
ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට දඹරාවේ හිමි ඝාතනය කළ හැටි

හම්බන්තොට වරාය ආශ්‍රිත ඉඩම් අක්‌කර පහළොස්‌දාහක්‌ චීන සමාගම් සඳහා පැවරීමට වත්මන් යහපාලන ආණ්‌ඩුව ගිවිසුම් අත්සන් කිරීමට නියමිතය. එම මූලික උත්සවයට විරෝධය පාමින් හම්බන්තොට ජනතාව සහ දේශප්‍රේමීන් මිරිඡ්ජවිල අවට කළ උද්ඝෝෂණයට පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය විසින්ද කොළඹ සිට පැමිණුන මැරයන්ද පහර දුන්හ. එම පහර දීමෙන් මහා සංඝරත්නය ඇතුළු බොහෝ පිරිසකට තුවාල සිදු විය. සාමණේර හිමි නමකගෙන් පැහැර ගත් චීවරයකටද ගිනිතැබූ බව ආරංචි පැතිරුණි. මේ සිද්ධිය සිදුවූයේ 2017 ජනවාරි හත් වැනිදාය. හරියටම වසර පණස්‌ එකකට පෙරද එක්‌සත් ජාතික පක්‌ෂ රජය සංඝයා වහන්සේ පෙරටු කොට ගත් පෙළපාලියකට පහරදී සාමණේර හිමි නමක්‌ ඝාතනය කළහ. එය සිදුවූයේ මෙලෙසය.

අඩ සියවසකට එහා කාලයක සිට ජාතික නිදහස්‌ සටන්වල යෙදී සිටි සිංහල ජනතාව 1956 දී මහජන එක්‌සත් පෙරමුණු රජයට ඓතිහාසික ජයග්‍රහණයක්‌ අත්පත් කර දුන්නේ බණ්‌ඩාරනායක මහතා සිංහල ජාතික බලවේගයන්හි මතයට අවංකවම ගරු කළ බැවින් යෑයි කල්පනා කළ හැකිය. එහෙත් 1956 ජූලි 06 වැනිදා උත්තර මන්ත්‍රී මණ්‌ඩලයෙන් සම්මතව ක්‍රියාත්මක භාවයට පත් රාජ්‍ය භාෂා පනතට දෙමළ රාජ්‍ය පක්‌ෂය විසින් එල්ල කරන ලද බලවත් විරෝධතාවයන් ඔස්‌සේ බණ්‌ඩාරනායක මහතා සිය මුල් ස්‌ථාවරය දෙසට දෝලනය විය. දෙමළ බසට ද සාධාරණ තැනක්‌ තිබිය යුතු බව ඔහුගේ මුල් මතය විය. ඒ අනුව චෙල්වනායගම් මහතා සමඟ ඇති කර ගත් ගිවිසුම 1957 ජූලි 26 වැනිදා ප්‍රකාශයට පත් විය.

අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගත් එක්‌සත් ජාතික පක්‌ෂය මහජන එක්‌සත් පෙරමුණෙන් සිංහල ජාතික බලවේග ඈත් කරලීමටත් සිය බල කඳවුර ශක්‌තිමත් කර ගැනීම සඳහාත් නිමක්‌ නැති උද්ඝෝෂණ මාලාවක නිරත විය. චෙල්වනායගම් ගේ පක්‌ෂය ශ්‍රී විරෝධී ව්‍යාපාරයක යෙදමින් ශ්‍රී අකුරේ තාර ගෑහ. සත්‍යග්‍රහ කළහ. ජාතික බලවේගවල විරෝධතා නිසාවෙන් ගිවිසුම අහෝසි වුවද දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනත 1958 සැප්තැම්බර් 04 වැනිදා නීතියක්‌ බවට පත් විය. එසේම මේ පනත්වලට අදාළව උසාවිවල සිංහලෙන් නඩු ඇසීමේ පනත 1959 ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහ. බණ්‌ඩාරනායක මහතා 1959 දී අවසන් ගමන් ගියේ මෙලෙස සිංහල ජාතික බලවේගයන්හි අභිප්‍රායන් දුර්වල කරමිනි.

පරිපාලනය සම්පූර්ණයෙන් සිංහලට හැරවීමේ ක්‍රියාමාර්ගය 1961 ජනවාරි 02 වැනි දායින් ආරම්භ වූ අතර 1964 වන විට එය අවසන් කිරීම සිරිමාවෝ බණ්‌ඩාරනායක රජයේ බලාපොරොත්තුව විය. නමුත් එවකට ක්‍රියාත්මක වූ වෙළෙඳපොළ ධනේශ්වරය ඇති කළ අර්බුදය තුළ සභාග රජය බිඳ වැටී 1965 දී එක්‌සත් ජාතික පක්‌ෂය පෙඩරල් පක්‌ෂය සමඟ එකඟතාවයකට පත්ව හත් හවුල් ආණ්‌ඩුවක්‌ ස්‌ථාපනය විය. මෙයට පසුබිම සකස්‌ වූයේ චෙල්වනායගම් මහතා 1961 සිට උතුරේ කළ ක්‍රියාවලියයි. උතුරු පළාත වෙන් කොට වෙනම රාජ්‍යයක්‌ බිහි කරලීමේ (ඊශාන දිග ලංකාව) වුවමනාව මත ඔහු ක්‍රියා කළේය. ඊළාම් උසාවි, ඊළාම් තැපැල් කාර්යාල ඊළාම් බැංකු පිහිටුවන ලදහ. පුලිය පාදෙයි (කොටි මග) නමැති සන්නද්ධ කල්ලියක්‌ ද සූදානම් කෙරුණි. 1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය අසාර්ථක වීමෙන් පසුව චෙල්වනායගම් මහතා ලන්ඩනයට ගොස්‌ ජාත්‍යන්තර වශයෙන් දෙමළ ජාතිවාදය පෝෂණය කිරීමට උත්සාහ කළේය.

1965 මාර්තු 24 ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම අනුව 1966 දෙමළ භාෂා විශේෂ විධිවිධාන පනත සකස්‌ වුණි. එහි රෙගුලාසි අනුව සියලුම ව්‍යපාරික ගනුදෙනු කිරීම සඳහාද උතුරු හා නැගෙනහිර පළාත්වල රජයේ නීති ගත සංස්‌ථාවල සහ ව්‍යවස්‌ථාපිත ආයතනවල හෝ පොදු වාර්තා පවත්වාගෙන යැම සඳහාද රජයේ නීති ගත සංස්‌ථා විසින් සහ ව්‍යවස්‌ථාපිත ආයතනයන් විසින් සිංහල පළාත්වල නිකුත් කරන සියලුම නිල ප්‍රකාශන චක්‍රලේඛන හා ආකෘති පත්‍ර දෙමළ භාෂාවෙන් ද නිකුත් කළ යුතු යෑයි නීති පැනවුණි. එසේම දෙමළ භාෂාව කතා කරන පුද්ගලයෙකුට දිවයිනේ ඕනෑම ස්‌ථානයක දෙමළ භාෂාවෙන් කටයුතු කිරීමේ අයිතිය ලැබෙන අයුරු ද නීති පැනවුණි. මේ ක්‍රියාමාර්ග නිසා උතුර සහ නැගෙනහිර ජීවත් වන සිංහලයන්ට පවා උසාවිවල කටයුතු දෙමළ භාෂාවෙන් කිරීමට සිදුව ඇත. මේ තත්ත්වය තුළ සිංහලයේ රාජ්‍ය භාෂා බලය තව දුරටත් දුර්වල වූ අතර දෙමළ භාෂාවට ද රාජ්‍ය භාෂා තත්ත්වය ඇතිවිය. වඩාත්ම නරක තත්ත්වය වූයේ උතුර හා නැගෙනහිර පළාත් දෙමළ ප්‍රදේශ ලෙසට පිළිගැනීමයි.

මෙම භයානක තත්ත්වය වටහා ගත් දේශප්‍රේමී ජනතාව 1956 ඓතිහාසික ජයග්‍රහණයට මුල් වූ සඟ වෙද ගුරු ගොවි කම්කරු බලවේග මුල් කොට ගෙන පනතට විරුද්ධව මහා පා ගමනක්‌ සංවිධානය කළහ. ඩඩ්ලි සේනානායක මහතාට ඉදිරිපත් කළ යුතු මහජන පෙත්සම සූදානම් කළහ. පූජ්‍ය මොට්‌ටුන්නේ ශ්‍රී ඉන්දසර නායක හිමි, පූජ්‍ය මැදගොඩ සුමනතිස්‌ස නායක හිමි ආදී මහා සංඝරත්නය මෙහි මූලිකත්වය ගෙන කටයුතු කළහ. නමුත් පා ගමනට කොල්ලුපිටිය ඉක්‌මවා යා නොහැකි විය. බැරියර් යොදමින් ගාලු පාර වසා තිබුණි. පිරිස මාර්ග බාධක ඉදිරියේ මහපාරේ වාඩි වූහ. ඒ අතර කීප දෙනෙකුට පමණක්‌ පාර්ලිමේන්තුවට යැමට අවසර එනතෙක්‌ බලාසිටියහ. හිටිහැටියේ කබල් වාහනයක්‌ පිරිස අතරින් ධාවනය විය. මේ නිසා පිරිස සීසී කඩ විය. ඒ ක්‌ෂණයකින් ගුවනින් කඳුළු ගෑස්‌ විෂ වායුව ඉසිමින් පා ගමන කඩාකප්පල් කළහ. පොලිසියේ බැටන් ප්‍රහාර මධ්‍යයේ සෙනග සීසී කඩ විසිර ගියහ. ආණ්‌ඩුවේ මැරයන් පෙළපාලිය මැදට පැමිණ පහර දුන්හ. අනතුරුව භික්‌ෂූන් වහන්සේලාට ද සාමකාමී මහජනතාවට පොලිසිය වෙඩිතැබීමට පටන් ගත්හ. මොට්‌ටුන්නේ ඉන්දසර නා හිමියන් මේ බිහිසුණ අවස්‌ථාව ගැන ප්‍රකාශ කරන්නේ මෙසේය.

‘පොදු යහපත උදෙසා ඉදිරිපත් වූ අහිංසක පිරිසක්‌ වෙඩි පහරවලට නිරපරාදේ ගොදුරුවන දුටු මට මා පමණක්‌ දිවි ගලවා ගැනීම මනුෂ්‍යයන්හට නොහොබනා දෙයක්‌ ලෙස හැඟුණු නිසා කොහේවත් නොගොස්‌ පාරේම රැඳී සිටියා. මාත් මරලා දැම්මාවේ යයි සිතා කඳුලු පිරි දෙනෙතින් වරින්වර යුද පිටිය දෙස බලමින් සිටින අතර කව්දෝ දෙදෙනෙක්‌ දුව ඇවිත් පාරෙන් බටහිර පැත්තේ පාරේ සිට යාර විසි පහක්‌ හෝ තිහක්‌ පමණ ඈතින් පිහිටි ගොඩනැඟිල්ලකට මාව ඔසවා ගෙන ගොස්‌ තැබීය. එහි සිටියේ මගේ ගෝලයෙක්‌ වන සාරානන්ද නමත් වෙඩි වැදී මියගිය දම්බරාවේ රතනසාර කුඩා නමත් පමණි. පිරිස අවුත් රැස්‌වීමෙන් ඉස්‌තෝප්පුවත් කන්තෝරු කාමරයත් පිරී ගියේය. එවිටම හත් අට දෙනකුගෙන් යුක්‌ත පොලිස්‌ පිරිසක්‌ මාරයින් මෙන් පාරෙන් හැරී අප දිහාවට තුවක්‌කු මානාගෙන වෙඩි තබමින් දුවගෙන ආවෝය. මේ වෙඩි ප්‍රහාරය නිසා මට දකුණු පසින් සිටි රතනසාර කුඩා නම වෙඩි උණ්‌ඩයක්‌ වැදී මැරී වැටුණේය.’ මේ සිද්ධියේ දී පිළිස්‌සුම් තුවාල ලත් මීරුප්පේ ආනන්ද හිමියන් සිය අත්දැකීම් විස්‌තර කරන්නේ මෙසේය.

‘සටන පටන් ගත් තැනම වාගේ සිටි මටද නොසිතූ තරම් ඉක්‌මනට හැඩිදෙමළ පොලිස්‌ රාළහාමි කෙනකුගේ පාපහරක්‌ එල්ල විය. එම පහර කාගෙන බඹ දෙකක්‌වත් යන්නට නොලැබිණ. දුවමින් සිටි කෙනෙකුගේ ඇඟේ හැපී මා බිම ඇද වැටිණ. එසේ වැටුණු මාගේ ඇඟ උඩ තව හත් අට දෙනෙක්‌ පමණ පෙරලුන බව දරන්නට වූ බරින් ම තේරුණි. මා දඟ ලන්නට උත්සාහ කළද ඉන් පලක්‌ නොවීය. මේ අයුරින් විනාඩි දෙක තුනක්‌ ගත වූවාට පසු මට මහත් දාහ ගතියක්‌ සමඟ ඇවිළෙන ගින්නක ලකුණු දැනෙන්නට විය. ඒ තමා එක පොදියට වැටී සිටි අපට එල්ල වූ විෂ වායු වෙඩිල්ලක්‌ පත්තු වී මේ ප්‍රතිඵලය. ක්‍රමයෙන් මා ඇඟ උඩ වැටී සිටි පිරිස නැගිට දුවන්නට විය. ඒ වන විට මගේ කකුල් දෙක අතරට වැටුණු විෂවායු වෙඩිල්ලක්‌ පැට්‌රල් ලාම්පුවක්‌ මැන්ටලයට ගිනි ඇවිළෙන විට ඇතිවන ශබ්දයට සමාන ශබ්දයක්‌ දෙමින් මගේ සිවුරුවලට ඇවිළි අවසානය. මේ හේතුවෙන් මගේ පපුවෙහිද පිලිස්‌සුම් තුවාල කීපයක්‌ ඇති විය.

ආනන්ද හිමියන් පසුව කීප දෙනෙකු විසින් ඔසවා ගනු ලැබ අසල නිවසකට ගෙනයනු ලැබිණ. නමුත් එතනටත් කඩා වැදුණු පොලිසිය උන්වහන්සේට කරන ප්‍රථමධාරවලට බාධා කළහ. ඔවුන්ට අවශ්‍ය වූයේ තුවාලකරුවන් වසන් කර රෝහල්ගත කිරීමටයි. නමුත් එහි සිටි පිරිස වහා වෙනත් ස්‌ථානයකට උන්වහන්සේ රැගෙන ගොස්‌ ප්‍රථමාධාර පහසුව සැලසූහ. අනතුරුව එම ස්‌ථානයට පැමිණි ස්‌ටැන්ලි තිලකරත්න, මෛත්‍රිපාල සේනානායක සහ ප්‍රින්ස්‌ ගුණසේකර යන මහත්වරන් විසින් මීරුප්පේ ආනන්ද හිමියන් රෝහල් ගත කරන ලදහ.

දම්බරාවේ රතනසාර කුඩා හිමියන් ඝාතනය කිරීමෙන් නොනැවතුණු එක්‌සත් ජාතික පක්‌ෂය භාෂා පනත පාර්ලිමේන්තුවේදී සම්මත කළහ. එය බෙදුම්වාදයේ තවත් අවස්‌ථාවකි. ඉන්දියාවට යන්නට සිටි දෙමළ වතු කම්කරුවන් නවත්වාගෙන පුරවැසි කම් ලබා දුන්හ. අවසානයේ මේ විරෝධතාවන් මධ්‍යයේ 1970 දී ආණ්‌ඩුව පරාජය කොට සිරිමා බණ්‌ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් නව රජයක්‌ පිහිටුවද බෙදුම්වාදයේ අරමුණු පරාජය කරන්නට හැකි නොවුණි. වරින් වර එය මතුවෙයි. වත්මනෙහිද එය නැවත නව ප්‍රවේශයකින් මතු වී තිබේ. පසුගිය අත්දැකීම්වලින් මේ ප්‍රශ්නය තෝරා බේරාගැනීම වත්මන් ජාතික ව්‍යාපාරයේ වගකීමයි. එසේ නැතහොත් සිදු වන්නේ ආණ්‌ඩු පෙරළියකින් නව රජයක්‌ බිහිවීම පමණකි. එය මේ රටේ බහුතර සිංහල ජනතාවගේ අපේක්‌ෂා ඉටු කරන්නක්‌ බවට පත් වන්නේ නැත.